වයසට ගැළපෙන අන්තර්ගතය බැලීමට නව යොවුන් දරුවන්ට උපකාර කිරීම

යාවත්කාලීනයි 2026 මැයි 13
නව යොවුන් දරුවන්ට තම වයසට සරිලන අන්තර්ගතයන් පෙන්වමින් ඔවුන්ගේ රුචිකත්වයන් ගවේෂණය කිරීමට උපකාර කිරීම ඇතුළුව, ඔවුන් Facebook සහ Instagram තුළ ආරක්ෂිත, ධනාත්මක අත්දැකීම් ලබා ගැනීම අපගේ අභිප්‍රාය වේ. නව යොවුන් දරුවන් නුසුදුසු අන්තර්ගතයන් දැකීම වැළැක්වීමට අපි ප්‍රධාන ආකාර තුනකින් කටයුතු කරමු: අපගේ නීතිරීති කඩ කරන විට අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම, නව යොවුන් දරුවන්ගෙන් ඇතැම් ආකාරයේ පරිණත හෝ සංවේදී අන්තර්ගතයන් සැඟවීම සහ අප නිර්දේශ කරන දේ සඳහා දැඩි සීමාවක් තිබීම.
නව යොවුන් දරුවන්ට ආරක්ෂිත, වයසට ගැළපෙන අත්දැකීම් ලබා දෙන බව සහතික කර ගැනීමට සහ දෙමාපියන්ට සිතේ සහනය සැලසීම සඳහා හැකි හොඳම පර්යේෂණ සහ විශේෂඥ උපදෙස් යොදා ගැනීමට ඉවහල් වීම සඳහා, අපි අපගේ ප්‍රවේශය අඛණ්ඩව විකාශනය කරමින් සිටින්නෙමු. පවුල්වලට දැනටමත් හුරුපුරුදු ස්වාධීන ප්‍රමිතියකට වඩාත් සමීපව පෙළගැස්වීමට අවශ්‍ය වූ නිසා, වයස අවුරුදු 13+ සඳහා වන චිත්‍රපට ශ්‍රේණිගත කිරීම් සහ දෙමාපිය ප්‍රතිපෝෂණය මත පදනම්ව, අපි නව යොවුන් දරුවන්ගෙන් සඟවන සහ ඔවුන්ට නිර්දේශ කිරීමෙන් වැළකී සිටින අන්තර්ගතය තීරණය කරන මාර්ගෝපදේශ වන වයසට ගැළපෙන අපගේ මාර්ගෝපදේශ සමාලෝචනය කළෙමු. මෙයින් අදහස් කරන්නේ, අපගේ අරමුණ වන්නේ නව යොවුන් දරුවන් ස්වයංක්‍රීයව ම වයසට සරිලන චිත්‍රපටයක දකින දේට සමාන අන්තර්ගතයක් Instagram සහ Facebook තුළ දැකීමයි.
13+ සඳහා ගැළපෙන බවට ‍ශ්‍රේණිගත කර ඇති චිත්‍රපටයක ඔබට යම් ලිංගිකත්වය හඟවන අන්තර්ගතයක් දැකිය හැකි හෝ තරමක ක‍‍‍ඨොර භාෂාවක් ඇසෙන ආකාරයට ම, නව යොවුන් දරුවන් ඉඳහිට Instagram සහ/හෝ Facebook තුළ ද එවැනි දෙයක් දැකිය හැකි ය - නමුත් එම අවස්ථා හැකිතාක් දුර්ලභ ලෙස තබා ගැනීමට අපි හැකි සෑම දෙයක්ම කරන්නෙමු. කිසිදු පද්ධතියක් පරිපූර්ණ නොවන බව අප හඳුනා ගන්නා අතර කාලයත් සමග වැඩිදියුණු කිරීම් සිදු කිරීමට අපි කැප වී සිටිමු.
සමාජ මාධ්‍ය සහ චිත්‍රපට අතර වෙනස්කම් රැසක් තිබේ. අපගේ අන්තර්ගත සැකසුම් යාවත්කාලීන කිරීමේ දී අප MPA සමග කටයුතු නොකළ අතර, ඔවුන් Instagram සහ/හෝ Facebook තුළ කිසිදු අන්තර්ගතයක් ශ්‍රේණිගත කරන්නේ නැත, තව ද ඔවුන් කිසිදු ආකාරයකින් අපගේ අන්තර්ගත සැකසුම් පිටසන් කරන්නේ හෝ අනුමත කරන්නේ නැත. ඒ වෙනුවට, අපි දැනටමත් දෙමාපියන්ට හුරුපුරුදු MPA තුළ ඇති පොදු මාර්ගෝපදේශවලින් මෙන්ම දෙමාපියන්ගෙන් ලැබුණු ප්‍රතිපෝෂණයෙන් ආභාසය ලබා ගත්තෙමු. අපගේ අන්තර්ගත ප්‍රමිතකරණ පද්ධති චිත්‍රපට ශ්‍රේණිගත කිරීමේ මණ්ඩලයක් මෙන් නොවන බැවින් අත්දැකීම හරියටම එක ම නොවීමට ඉඩ ඇත.
ආරක්ෂණ ස්ථර කිහිපයක්
සියලු දෙනාට ම: අපගේ ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය කරන අන්තර්ගතයන් අපි ඉවත් කරන්නෙමු. අප නිර්දේශ කරන අන්තර්ගත වර්ගය සඳහා ඉහළ සීමාවන් පනවන ක්‍රමයක් ද අප සතුව ඇත.
❌ අප ඉවත් කරන අන්තර්ගතය
අපගේ ප්‍රජා ප්‍රමිති මගින් Facebook සහ Instagram තුළ අප ඉඩ නොදෙන අන්තර්ගත වර්ග ගෙනහැර දක්වයි. අපට එය දැනගන්නට ලැබෙන ඕනෑම අවස්ථාවක දී, අපි මෙම අන්තර්ගතය නව යොවුන් දරුවන් ඇතුළුව සියල්ලන් සඳහා සම්පූර්ණයෙන් ම ඉවත් කරන්නෙමු. අප මෙම නීතිරීති කඩ කරන අන්තර්ගතය ඉවත් කරන විට, අප විසින් එය බෙදා ගත් ගිණුමට වර්ජනයක් යෙදීම සිදු කළ හැකි අතර, නැවත නැවතත් හෝ දැඩි ලෙස අපගේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරන ගිණුම් අපි අබල කරන්නෙමු. නව යොවුන් දරුවන් ඇතුළුව අපගේ ප්‍රජාවේ සියලු දෙනා ආරක්ෂා කිරීම සඳහා මෙම ප්‍රතිපත්ති සැලසුම් කර ඇත.
අප සම්පූර්ණයෙන්ම ඉවත් කරන අන්තර්ගත වර්ගවලට පහත ඒවා ඇතුළුව ඒවාට සීමා නොවන තවත් දෑ ද ඇතුළත් වේ:
අපි කැමැත්තකින් තොරව සිදු වන ලිංගික ක්‍රියාකාරකම්වලට අනුබල සපයන පෝස්ටු හෝ ළමා අපචාර ද්‍රව්‍ය බෙදා ගැනීම හෝ ඉල්ලා සිටීම වැනි පුද්ගලයන් අපයෝජනයට හෝ සූරාකෑමට හැකි අන්තර්ගතයට ඉඩ නොදෙන්නෙමු. උදාහරණයක් ලෙස, පහත සඳහන් දෑ අපි ඉවත් කරන්නෙමු:
❌ ගණිකා සේවය පිරිනමන හෝ කාමුක දර්ශන එවන ලෙස යමකුගෙන් ඉල්ලා සිටින පෝස්ටුවක්.
❌ අදාළ පුද්ගලයාගේ කැමැත්ත ලබා ගැනීමෙන් තොරව බෙදා ගන්නා ලද අතිශය ප‍ෞද්ගලික හෝ ලිංගික ක්‍රියාවක යෙදෙන කෙනෙකුගේ ඡායාරූපයක්.
❌ ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය හෝ නිරුවත් දරුවන්ගේ ඡායාරූප පිරිනමන හෝ ඒවා ඉල්ලා සිටින පෝස්ටුවක්.
මිනිසුන්ට ඔවුන්ගේ ම අත්දැකීම් ගැන කතා කිරීමට සහ සහාය ලබා ගැනීමට තවමත් ඉඩ ලබා දෙන අතර ම, සියදිවි නසාගැනීම, තමාට ම අනතුරු කර ගැනීම හෝ අයහපත් ආහාර පුරුදු දිරිමත් කරන, ඒවා උත්කර්ෂයට නංවන හෝ ප්‍රවර්ධනය කරන අන්තර්ගතයට අපි ඉඩ නොදෙන්නෙමු. උදාහරණයක් ලෙස, පහත සඳහන් දෑ අපි ඉවත් කරන්නෙමු:
❌ සියදිවි නසාගැනීම, තමාට ම අනතුරු කර ගැනීම හෝ අයහපත් ආහාර පුරුදු ගැන ධනාත්මකව කතා කරන පෝස්ටුවක්.
❌ තමාට ම අනතුරු කර ගැනීමක අප්‍රසන්නකාරී දර්ශන සහිත කතන්දරයක්.
❌ අයහපත් ආහාර පුරුදු ඇති බවට යමෙකුට සමච්චල් කරන අදහස් දැක්වීමක්.
අයුතු බලපෑම් කිරීම සහ හිංසනය ඇතුළුව බිය ගැන්වීමේ හෝ බැහැර කිරීමේ පරිසරයක් නිර්මාණය කළ හැකි අන්තර්ගතයට අපි ඉඩ නොදෙමු. උදාහරණයක් ලෙස, පහත සඳහන් දෑ අපි ඉවත් කරන්නෙමු:
❌ සිය ජාතිය, ආගම, වාර්ගිකත්වය, ලිංගික අනන්‍යතාවය හෝ ලිංගික නැඹුරුව මත පදනම්ව මිනිසුන්ට එරෙහිව මනුෂ්‍යත්වයෙන් පහත් කොට සලකන ප්‍රකාශ භාවිත කරන පෝස්ටුවක්.
❌ ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරු වූවන් සමච්චලයට ලක් කරන අදහසක් දැක්වීමක්.
❌ පුද්ගලිකව හඳුනා ගත හැකි තොරතුරු (විදේශ ගමන් බලපත්‍ර අංකයක් වැනි) මුදා හැරීමට තර්ජනය කරන හෝ යමෙකුට හිංසා කිරීමට පොළඹවන පෝස්ටුවක්.
අපි අපගේ වේදිකාවල ඇතැම් සීමා කළ භාණ්ඩ සහ සේවා මිල දී ගැනීමට, විකිණීමට හෝ වෙළඳාම් කිරීමට ඉඩ නොදෙන්නෙමු. ඇතැම් ද්‍රව්‍ය වර්ග ප්‍රවර්ධනය කිරීමට හෝ ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳ උපදෙස් සැපයීමට අපි පුද්ගලයන්ට ඉඩ නොදෙන්නෙමු. උදාහරණයක් ලෙස, පහත සඳහන් දෑ අපි ඉවත් කරන්නෙමු:
❌ විවිධ වර්ගයේ ඖෂධ මිල දී ගැනීමට, විකිණීමට හෝ වෙළඳාම් කිරීමට ඉදිරිපත් වන කතන්දරයක්.
❌ දුම්කොළ, නිකොටින් හෝ මද්‍යසාර මිල දී ගැනීමට, විකිණීමට හෝ වෙළඳාම් කිරීමට යත්න දරන පෝස්ටුවක්
❌ ත්‍රිමාණ මුද්‍රිත තුවක්කු කොටස් ඉදිරිපත් කරන අදහස් දැක්වීමක්.
නීත්‍යානුකූලව යම් යම් සීමාසහිත භාණ්ඩ ලබා දෙන නීත්‍යානුකූල ව්‍යාපාර සඳහා අපි ඇතැම් ව්‍යතිරේක අදාළ කරන්නෙමු.
මිනිසුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ තර්ජන වැනි පුද්ගලික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අන්තර්ගතයට හෝ අතිශය අප්‍රසන්නකාරී දර්ශන සහිත අන්තර්ගතයට අපි ඉඩ නොදෙන්නෙමු. උදාහරණයක් ලෙස, පහත සඳහන් දෑ අපි ඉවත් කරන්නෙමු:
❌ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමට හෝ පැහැර ගැනීමට තර්ජනය කරන, නැතහොත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට අන් අයව දිරිමත් කරන පෝස්ටුවක්.
❌ පුද්ගලයෙකු බෙලහීන කරන ආකාරය හෝ දරුණු ලෙස පිළිස්සී ඇති ආකාරය දැක්වෙන අයුරු චිත්‍රණය කරන අප්‍රසන්නකාරී දර්ශන සහිත වීඩියෝවක්.
වෛද්‍ය සන්දර්භයක හෝ දැනුම්වත් කිරීම සඳහා බෙදාගත් විට අප්‍රසන්නකාරී දර්ශන සහිත අන්තර්ගතය සඳහා යම් යම් ව්‍යතිරේකයන් අපි අදාළ කරන්නෙමු. අප්‍රසන්නකාරී දර්ශන සහිත අන්තර්ගතයට ඉඩ දෙන විට, පුද්ගලයන් විසින් එය ක්ලික් කිරීමට පෙර අන්තර්ගතය සංවේදී විය හැකි බව ඔවුන්ට දැන ගැනීමට සැලැස්වීම පිණිස, අපි සාමාන්‍යයෙන් අනතුරු ඇඟවීමේ තිරයකින් එය ආවරණය කරන්නෙමු.
අපි නිරුවත හෝ ලිංගික ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කිරීම මෙන්ම පැහැදිලිව ලිංගිකත්වය හඟවන භාෂාව ද සීමා කරමු. උදාහරණයක් ලෙස, පහත සඳහන් දෑ අපි ඉවත් කරන්නෙමු:
❌ AI මගින් ජනනය කරන විට ඇතුළුව, නිරුවත හෝ පැහැදිලි ලිංගික ක්‍රියාකාරකම් අඩංගු රූපයක් හෝ වීඩියෝවක්.
❌ ලිංගික හමුවීම් පිළිබඳ පැහැදිලි හෝ අප්‍රසන්නකාරී රූපමය විස්තර සහිත කතන්දරයක් (එය හාස්‍යජනක හෝ උපහාසාත්මක නොවේ නම්).
විරෝධතාව දක්වන ආකාරයක් ලෙස, යම් කරුණක් පිළිබඳ දැනුවත් කිරීමට හෝ අධ්‍යාපනික හෝ වෛද්‍යමය හේතූන් වැනි විවිධාකාර හේතූන් මත නිරුවත බෙදා ගැනීමට ඉඩ ඇති බව අපි වටහා ගනිමු. උචිත සහ එවැනි අදහසක් ඇති බව පැහැදිලි අවස්ථාවන්හි දී අපි මෙම අන්තර්ගතය සඳහා ඉඩ ලබා දෙන්නෙමු.
අපි ඉවත් කරන අන්තර්ගතය පිළිබඳ සම්පූර්ණ විස්තර සඳහා, අපගේ ප්‍රජා ප්‍රමිති බලන්න.
🛡️ අප නිර්දේශ කිරීමෙන් වළකින අන්තර්ගතය
Instagram තුළ Reels හෝ Explore හෝ Facebook සංග්‍රහය වැනි ස්ථානවල පුද්ගලයින්ට තමන් කැමති විය හැකි නව අන්තර්ගතයන් සොයා ගැනීමට උපකාර කිරීම සඳහා අපි නිර්දේශයන් සිදු කරන්නෙමු. නිර්දේශ කළ හැකි අන්තර්ගතයන් පිළිබඳ මාර්ගෝපදේශ අප සතුව ඇති අතර, අන්තර්ගතය ඉවත් කිරීමට තරම් දරුණු නොවුණත්, ගුණත්වයෙන් අඩු, විරෝධයන් පැන නැඟීමට ඉඩ ඇති හෝ විශේෂයෙන් සංවේදී විය හැකි නිර්දේශයන් සිදු කිරීමෙන් වැළකී සිටින්නෙමු. පුද්ගලයින් අනුගමනය කිරීමට තෝරා නොගත් ගිණුම්වලින් අන්තර්ගතයන් පෙන්වීමේ දී වඩාත් දැඩි ප්‍රමිතීන් තිබිය යුතු බවට අප සිතීම මීට හේතුව වේ.
⚠️ අප නව යොවුන් දරුවන් සඳහා සඟවන අමතර අන්තර්ගතය
නව යොවුන් දරුවන්: අපි වයස අවුරුදු 18ට අඩු නව යොවුන් දරුවන් සඳහා අමතර ආරක්ෂාවන් පිරිනමන්නෙමු. අපි සියලු දෙනා සඳහා ම ඉවත් කරන අන්තර්ගත ප්‍රමාණයට වඩා වැඩි අන්තර්ගතයක් සඟවන අතර, වැඩිහිටියන්ට නිර්දේශ කළ හැකි අන්තර්ගතයන් නව යොවුන් දරුවන්ට නිර්දේශ කිරීමෙන් වළකින්නෙමු. අපගේ ඉලක්කය වන්නේ නව යොවුන් දරුවන් පෙරනිමියෙන් වයසට සරිලන චිත්‍රපටයක දකින දේට සමාන අන්තර්ගතයක් Instagram සහ Facebook තුළ දැකීමයි. නව යොවුන් දරුවන්ට ප්‍රවේශ විය හැක්කේ දෙමාපියන්ගේ අවසරය ඇතිව, තවත් අන්තර්ගතය ලෙස හඳුන්වන තුන්වන, වඩාත් අවසර ලත් සැකසුමක් වෙත පමණි. Instagram තුළ, සීමා කළ අන්තර්ගතය ලෙස හඳුන්වන වඩාත් සීමාකාරී සැකසුමක් ද නව යොවුන් දරුවන්ට හෝ ඔවුන්ගේ දෙමව්පියන්ට තෝරා ගත හැකි අතර, නව යොවුන් දරුවන්ට ප්‍රවේශ විය හැක්කේ දෙමව්පියන්ගේ අවසරය ඇතිව, තවත් අන්තර්ගතය ලෙස හඳුන්වන තුන්වන, වඩාත් අවසර ලත් සැකසුමක් වෙත පමණි
13+ (පෙරනිමිය): 13+ අන්තර්ගත සැකැස්ම වයස අවුරුදු 13+ සඳහා වන චිත්‍රපට ශ්‍රේණිගත කිරීම් සහ දෙමාපිය ප්‍රතිපෝෂණයෙන් ආභාෂය ලබන අතර, පෙරනිමියෙන් නව යොවුන් දරුවන් සඳහා ක්‍රියාත්මක වේ. වැඩිහිටියන් සඳහා කුමන ආකාරයේ අන්තර්ගතයන් සුදුසු විය හැකි ද යන්න සහ වයස අවුරුදු 18ට අඩු නව යොවුන් දරුවන් සඳහා වයසට අනුචිත විය හැකි දේ වඩා හොඳින් තේරුම් ගැනීමට අපි ලොව පුරා සිටින තරුණ විශේෂඥයන් සමග කටයුතු කර ඇති අතර, වයස අවුරුදු 13+ සඳහා වන චිත්‍රපට ශ්‍රේණිගත කිරීම් සහ දෙමාපිය ප්‍රතිපෝෂණය මත පදනම්ව මෙම වයසට ගැළපෙන මාර්ගෝපදේශ සමාලෝචනය කළෙමු. මෙම සැකසුම තුළ, අපි දැනටමත් සැමට ඉවත් කර ඇති අන්තර්ගතයට අමතරව නව යොවුන් දරුවන්ගෙන් අමතර අන්තර්ගතයන් ද සඟවන්නෙමු. මෙයින් අදහස් කරන්නේ, වැඩිහිටියන්ට තවමත් මෙකී අන්තර්ගතයට ප්‍රවේශය තිබෙනු ඇති නමුදු, නව යොවුන් දරුවන් විසින් සිය සංග්‍රහයේ හෝ කතන්දර තුළ අනුගමනය කරන ගිණුමකින් බෙදා ගනු ලැබූ විට පවා, ඔවුන්ට එම අන්තර්ගතය දැකීමට හෝ ඒ සමග අන්‍යෝන්‍යව කටයුතු කිරීමට නොහැකි වනු ඇති බවයි. මූලිකව ම වයසට නොගැළපෙන අන්තර්ගතයන් බෙදා ගන්නා ගිණුම් නව යොවුන් දරුවන් විසින් සොයා ගැනීමෙන්, අනුගමනය කිරීමෙන් සහ ඒවා සමග අන්‍යෝන්‍යව කටයුතු කිරීමෙන් අපි වළක්වන්නෙමු.
මෙම පෙරනිමි සැකසුම තුළ අපි නව යොවුන් දරුවන් සඳහා සඟවන අන්තර්ගත වර්ග කිහිපයක් බැලීමට මෙතැන ක්ලික් කරන්න
පීඩාකාරී හෝ සංවේදී විය හැකි දෑ වෙතින් නව යොවුන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අපි ඇතැම් සිය දිවි නසා ගැනීම සහ තමාට ම අනතුරු කර ගැනීම ආශ්‍රිත අන්තර්ගත ඔවුන් වෙතින් සඟවන්නෙමු. උදාහරණයක් ලෙස, පහත දෑ සඳහා අපි වයස් සීමා පනවන්නෙමු:
⚠️ යථා තත්ත්වයට පත් වීමේ සන්දර්භයක දී හැර, යමකු සියදිවි නසාගැනීම්, තමාට ම අනතුරු කර ගැනීම හෝ අයහපත් ආහාර පුරුදු සම්බන්ධ තම පුද්ගලික අත්දැකීම් විස්තර කරන පෝස්ටුවක්.
⚠️ රෝහලක සිටින පුද්ගලයින් අනායාස මරණයක හෝ සහාය ලද සියදිවි නසා ගැනීමක නිරත වන අයුරු දැක්වෙන ඡායාරූපයක් හෝ වීඩියෝවක්.
⚠️ කෙනෙකු තමන්ගේම අධික බර අඩු කර ගැනීමේ හැසිරීම ගැන කතා කරන කතන්දරයක්.
හානිකර විය හැකි ක්‍රියාකාරකම්වල යෙදීමට නව යොවුන් දරුවන්ට බලපෑම් කළ හැකි අන්තර්ගතය අපි ඔවුන් වෙතින් සඟවන්නෙමු. උදාහරණයක් ලෙස, පහත දෑ සඳහා අපි වයස් සීමා පනවන්නෙමු:
⚠️ නීත්‍යානුකූල භෞතික ව්‍යාපාරයක් විසින් බෙදා ගන්නා විට දුම්කොළ, නිකොටින් නිෂ්පාදන, මද්‍යසාර, හෝ ගිනි අවි විකිණීමට ඉදිරිපත් වන පෝස්ටුවක්.
⚠️ මනෝභ්‍රමික මත්ද්‍රව්‍ය හෝ ​​(එන්තියෝජනික මත්ද්‍රව්‍ය ලෙස ද හැඳින්වේ) ගංජා නිෂ්පාදන භාවිතා කිරීමට මිනිසුන් දිරිමත් කරන කතන්දරයක්.
⚠️ මද්‍යසාර පාන වර්ග සඳහා වට්ටෝරු සහිත රූප.
⚠️ බර අඩු කර ගැනීමේ නිෂ්පාදන හෝ සේවා අලෙවි කරන පෝස්ටුවක්.
වැඩිහිටියන් සඳහා, අප්‍රසන්නකාරී දර්ශන සහිත සහ සිත වික්ෂිප්තභාවයට පත් කරන රූපවලට අනතුරු ඇඟවීමේ තිරයක් පිටුපස ඉඩ දුන්න ද, අපි නව යොවුන් දරුවන්ගෙන් එම රූප සඟවන්නෙමු. උදාහරණයක් ලෙස, පහත දෑ සඳහා අපි වයස් සීමා පනවන්නෙමු:
⚠️ දැඩි ලෙස පිළිස්සුණු පුද්ගලයෙකුගේ ඡායාරූපයක්, මෙබඳු ඒව අපි වැඩිහිටියන් සඳහා අනතුරු ඇඟවීමේ තිරයකින් ආවරණය කරන්නෙමු.
⚠️ වෙඩි තැබීම්, ම්ලේච්ඡත්වය හෝ මාරාන්තික මෝටර් රථ අනතුරු පිළිබඳ ඡායාරූපයක් හෝ වීඩියෝවක්.
පැහැදිලිව නිරුවත හෝ ලිංගික ක්‍රියාකාරකම් අඩංගු නොවන නමුත් ලිංගිකත්වය හඟවන බවට සැලකිය හැකි නව යොවුන් දරුවන්ගෙන් ලැබෙන අමතර අන්තර්ගතයන් අපි සඟවන්නෙමු. උදාහරණයක් ලෙස, පහත දෑ සඳහා අපි වයස් සීමා පනවන්නෙමු:
⚠️ ඩිජිටල් ආවරණයකින් ආවරණය වූ නිරුවත වැනි ආසන්න නිරුවත සහිත පෝස්ටුවක්.
⚠️ කෙනෙකුගේ තට්ටම් මත විශාලනය කරන ලද ඡායාරූපයක්.
⚠️ ලිංගික රූපක භාවිතය ඇතුළුව ලිංගික හමුවීම් විස්තර කරන ලිංගිකත්වය හඟවන භාෂාවක් සහිත කතන්දරයක්.
අපි ඉවත් කරන අන්තර්ගතය පිළිබඳ සම්පූර්ණ විස්තර සඳහා, අපගේ ප්‍රජා ප්‍රමිති බලන්න.
වයස අවුරුදු 13+ සඳහා වන චිත්‍රපට ශ්‍රේණිගත කිරීම්වලට සහ දෙමාපිය ප්‍රතිපෝෂණයට අනුකූල වුව ද, අපි තවත් අන්තර්ගත වර්ග නිර්දේශ කිරීමෙන් ද වැළකී සිටිමු. අප වැඩිහිටියන්ට නිර්දේශ කිරීමෙන් වළකින බොහෝ අන්තර්ගතයන් දැනටමත් නව යොවුන් දරුවන්ට සම්පූර්ණයෙන් ම සඟවා ඇති නමුත්, නව යොවුන් දරුවන් සඳහා අප තවදුරටත් ඔබ්බට ගොස් ව්‍යංගයෙන් ලිංගික, දැඩි අසභ්‍ය වචන සහිත හෝ උසකින් පැනීම වැනි අවදානම් සහගත ප්‍රයෝග ලෙස දැකිය හැකි ඡායාරූප හෝ වීඩියෝ වැනි අතිරේක අන්තර්ගත වර්ග නිර්දේශ කිරීමෙන් ද වළකින්නෙමු.
සීමා කළ අන්තර්ගතය: අමතර පාලනයන්ට කැමති දෙමාපියන් සඳහා, Instagram මත අපි සීමා කළ අන්තර්ගතය ලෙස හඳුන්වන නව, ඊටත් වඩා සීමා සහිත සැකසුමක් හඳුන්වා දී ඇත්තෙමු. සීමා කළ අන්තර්ගත සැකසුම සක්‍රිය කර ඇති විට, යොවුන් ගිණුම් අත්දැකීමෙන් තවත් අන්තර්ගතයන් සැඟවීමට අපි අපගේ අන්තර්ගත පෙරහන් වඩාත් ප්‍රබල ලෙස යොදන්නෙමු. තව ද අපි සෙවුම් ප්‍රතිඵල තවදුරටත් සීමා කරමින් නව යොවුන් දරුවන්ට පෝස්ටු යටතේ අදහස් දැකීමට, තැබීමට හෝ ලැබීමට ඇති හැකියාව අක්‍රිය කරන්නෙමු.
තවත් අන්තර්ගතයන්: නව යොවුන් දරුවන්ට ‘තවත් අන්තර්ගතයන්’ සැකසුම වෙත මාරු විය හැක්කේ දෙමාපියන්ගේ අවසරය ඇතිව පමණක් වන අතර, එය දෙමාපියන්ට ලබා දිය හැක්කේ දෙමාපියන්ගේ අධීක්ෂණය හරහා පමණි. මෙම සැකසුම තුළ, වැඩිහිටියන්ට වඩා නව යොවුන් දරුවන්ගෙන් තවත් අන්තර්ගතයන් සඟවන ස්වයංක්‍රීය ආරක්ෂණවලින් නව යොවුන් දරුවන් තවමත් ප්‍රතිලාභ ලබන අතර, එය අපගේ ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය කරන්නේ නම් අපි තවමත් අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නෙමු. කෙසේ වෙතත්, 13+ සහ සීමා කළ අන්තර්ගත සැකසුම් තුළ නොමැති සමහර අන්තර්ගතයන් නව යොවුන් දරුවන්ට නිර්දේශ කරනු ලැබිය හැකි අතර, වයසට නුසුදුසු අන්තර්ගතයන් බෙදා ගන්නා සම්පූර්ණ ගිණුම් අප සඟවන්නේ නැත. 13+ සහ සීමා කළ අන්තර්ගත සැකසුම්වල කොටසක් වන සජීවී, අදහස් දැක්වීම් සහ සෙවීම හරහා දැඩි අන්තර්ගත සීමාවන් “තවත් අන්තර්ගතයන්“ සැකසුම මගින් සපයන්නේ නැත.
වගකීම් අත්හැරීමේ ප්‍රකාශය: සමාජ මාධ්‍ය සහ චිත්‍රපට අතර වෙනස්කම් රැසක් තිබේ. අපගේ අන්තර්ගත සැකසුම් යාවත්කාලීන කිරීමේ දී MPA සමග අපි කටයුතු කළේ නැති අතර, ඔවුන් Instagram සහ Facebook තුළ කිසිදු අන්තර්ගතයක් ශ්‍රේණිගත කරන්නේ නැති අතර, ඔවුන් කිසිදු ආකාරයකින් අපගේ අන්තර්ගත සැකසුම් පිටසන් කරන්නේ හෝ අනුමත කරන්නේ නැත. ඒ වෙනුවට, අපි දැනටමත් දෙමාපියන්ට හුරුපුරුදු MPA තුළ ඇති පොදු මාර්ගෝපදේශවලින් මෙන්ම දෙමාපියන්ගෙන් ලැබුණු ප්‍රතිපෝෂණයෙන් ආභාසය ලබා ගත්තෙමු. අපගේ අන්තර්ගත ප්‍රමිතකරණ පද්ධති චිත්‍රපට ශ්‍රේණිගත කිරීමේ මණ්ඩලයක් මෙන් නොවන බැවින් අත්දැකීම එක් සමාන නොවීමට ඉඩ ඇත.
උල්ලංඝනීය අන්තර්ගතය සම්බන්ධයෙන් පැමිණිලි කරන ආකාරය
අපගේ නීතිරීති උල්ලංඝනය කරන අන්තර්ගතයන් හඳුනා ගැනීම සඳහා අප දැඩි ලෙස කටයුතු කරන අතර, අපගේ තාක්ෂණය භාවිතයෙන්, අප ඉවත් කරන බොහෝ අන්තර්ගතයන් ඒවා අප වෙත පැමිණිලි කරනු ලැබීමට පෙර සොයාගන්නෙමු. අපට මඟ හැරුණු යමක් ඔබ දකින්නේ නම්, කරුණාකර Facebook හෝ Instagram තුළ ඒ ගැන පැමිණිලි කිරීමෙන් අපගේ වේදිකා වඩාත් ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට උදව් කරන්න. සියලුම පැමිණිලි නිර්නාමිකය.
අතිරේක සම්පත්
අපගේ ප්‍රජා ප්‍රමිතීන් තුළ සෑම ප්‍රතිපත්ති ක්ෂේත්‍රයක් සඳහා ම අප ඉවත් කරන සහ වයස අනුව සීමා කරන අන්තර්ගතයන් පිළිබඳ විස්තර අඩංගු වේ. ඒවා කියවීමට, මෙතැන ක්ලික් කරන්න.
නව යොවුන් දරුවන් විසින් නැවත නැවතත් අවහිර කර හෝ පැමිණිලි කර ඇති වැඩිහිටියෙකු, හෝ උල්ලංඝනීය අන්තර්ගතය නැවත නැවතත් සොයන වැඩිහිටියෙකු වැනි සැක කටයුතු වැඩිහිටියන් ක්‍රියාකාරීව හඳුනා ගැනීම සඳහා ද අපි තාක්ෂණය සංවර්ධනය කර ඇත්තෙමු. අපි නව යොවුන් දරුවන්ට සැක කටයුතු වැඩිහිටියන් නිර්දේශ නොකරන අතර, සැක කටයුතු වැඩිහිටියන්ට නව යොවුන් දරුවන් නිර්දේශ කිරීම ද සිදු නොකරන්නෙමු. ඔබට මෙතැනින් මේ පිළිබඳ වැඩිදුර කියවිය හැකි ය.
ඔබේ ප්‍රජාව ආරක්ෂිතව තබා ගැනීමට අප උපකාර කරන ආකාරය පිළිබඳ වැඩි විස්තර අපගේ ආරක්ෂණ මධ්‍යස්ථානයෙන් ද, නව යොවුන් දරුවන්ට සහ පවුල්වලට අප සහාය වන ආකාරය පිළිබඳ වැඩි විස්තර අපගේ පවුල් මධ්‍යස්ථානයෙන් ද කියවිය හැකි ය.